වැම්පයර් භීෂණය(The Vampire Terror)

කර්තෘ-රුවන් චින්තක

1882 වසරේ එක් දිනයක ඇඩම් ස්මිත් නම් තරුණයෙකු සිය බාප්පාගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඔහුගේ නිවස වෙත යමින් සිටියේ ය.

ඔහු හයිඩ් පාක් දුම්රිය පොලේ සිට සවුත්වේල්ස් දුම්රියපොළ දක්වා මේ වන විට ගමන් කරමින් සිටියේය.

සිය බාප්පා වූ හෙගල් ඇන්ඩර්සන් ව්‍යාපාරිකයෙකි.ඔහු ජීවත් වූයේ සවුත්වේල්ස යෙහි ශාන්ත ලෝරන්ස් වීථියට මඳක් ඔබ්බෙන් පිහිටි සැන් ජුවාන් නම් ප්‍රදේශයේය.

ඇඩම් සවුත්වේල්ස් දුම්රියපොළ වෙත ළඟා වන විට වේලාව සවස හය පමණ වී තිබුණේ ය.

දුම්රියෙන් බැස ගත් ඔහු මඳක් බලා සිටියේ තම බාප්පා වූ හෙගල් ඇන්ඩර්සන් ඔහු වෙනුවෙන් අස්‍ රියක් දුම්රියපොළ වෙත පිටත් කර හරින බවට පෙර පැවසූ නිසාවෙනි.

මේ මොහොතේ දුම්රියපොළේ විශාල ජනගහනයක් පෙනෙන්නට තිබුණේය.

ඒ අතරින් ඇඩම් දුටුවේ කාල වර්ණ අසුන් දෙදෙනෙකු බැඳ සිටි රෝද හතරේ අස්‍ රියක පිටුපස අසුනේ හිඳ සිටි රූමත් යුවතියක් තමා දෙස ඉතා ඕනෑකමින් මෙන් බලා සිටින අයුරුය.මීට පෙර ඔහු ඇයව කිසි දිනෙක දැක නොතිබුණේය.

දුම්රියපොළේ පහන් ආලෝකයෙන් ඇයගේ වත ඉතා පැහැපත් අයුරින් ඇඩම් හට පෙනී ගියේ‍ ය.

මදක් නතර කර තිබූ රථය අවසානයේ ගමන් ආරම්භ කිරීමට සූදානම් වනු ඇඩම් හට දැකගත හැකිවිය.රථය පිටත් වන විටද ඇය ඔහු දෙස බලා සිටියාය.මිනිත්තු කිහිපයකින් රථය අඳුරු මාවතේ නොපෙනී ගියේ ය. ඇය ඉතා රූමත් යුවතියකි.ඇඩම් හට ඇය කෙරෙහි නුහුරු හැඟීමක් දැනෙන්නට වූයේය.එහෙත් ඇය ව ඔහුට යළි දැක බලා ගැනීමට හැකි වේද යන්න ඔහුට මෙවේලෙහි පැන නැගුනු ගැටළුවක් විය. එය සිහි වත් ම ඔහුගේ සිතට නැගී ආවේ අතිශය කනගාටුවකි .

මෙසේ සිතමින් සිටින අතරවාරයේ කාල වර්ණ අසෙකු බැඳී අස් රියක් දුම්රිය පොළ වෙත ළඟා විය.ඉන් බැසගත් මැදිවියේ පසු වූ පුද්ගලයෙකු කිසිවකු සොයමින් සිටියේය. ඔහු මඳක් ඕනෑකමින් මෙන් ඇඩම් වෙත අවධානය යොමු කළේය.මේ වන විට පදිකවේදිකාවේ අසුනක් මත විශාල ගමන් මල්ලක් ද සමඟ හිඳ සිටියේ එක් තරුණයකු පමණි.ඒ ඇඩම් ස්මිත් තරුණයාය.එහෙයින් මේ තම ස්වාමියාගේ ඥාති පුත්‍රයා ම බැව් හඳුනාගත් රියෑදුරා ඇඩම් අසලට ආවේය.

"ඇඩම් ස්මිත් මහත්මයා ඔබ නේද?"

"ඔව් ඒ මම තමයි"

ඇඩම් පිළිතුරු දුන්නේය.

"මා ඔබේ බාප්පා හෙගල් ඇන්ඩර්සන් ගේ රියදුරා.ඔහු මාව මෙහි කැඳෙව්වේ ඔබව එහි රැගෙන ඒමට. දෙන්න මහත්මයා ඔය බෑගය."

එසේ කියමින් රියදුරා ඇඩම් ගේ ගමන් බෑගය ගෙන එය රථය වෙත රැගෙන ගියේය.ඔහු පිටුපසින් ගමන් ගත් ඇඩම් රථයට ගොඩ වූයේ ය. රථය හරවා ගත් රියදුරා එය වීථිය ඔස්සේ ඉදිරියට මෙහෙය වූයේය.ඇඩම් වසර ගණනාවකින් සිය බාප්පා දැක නොතිබුණේය. එමෙන් ම මෙම ප්‍රදේශය ද ඔහුට මඳක් නුහුරුවිය. ඇඩම් ගේ පියා ද ව්‍යාපාරිකයෙකි.ඔවුන් ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඉදිරියෙන්ම සිටි පිරිසකි. බාප්පා සමග ලියුම් හුවමාරු පමණක් සිදු වූ හෙයින් ඔවුන් අතර මදක් දුරස්ථ බැඳීමක් තිබුණේ ය.

අවට වීථි පහන් ආලෝකයෙන් ආලෝකමත් විය. රථය තරමක් සෙමෙන් ගමන් ගත් අතර පහන් ආලෝකය හේතුවෙන් ඇඩම් හට අවට වඩාත් පහසුවෙන් දැක බලා ගැනීමට අවස්ථාව උදා වූයේ ය. දැවැන්ත යූ,සයිප්‍රස් ආදි වූ වෘක්ෂලතාවරණයක් පසු කරමින් සිටි රථය ශාන්ත ලෝරන්ස් වීථියට පිවිසෙන විට රාත්‍රී 7 ට ආසන්න වී තිබුණේය.

රියදුරා ද නිහඬව රථය ඉදිරියට මෙහෙය වූයේය.ඒ සැන්ජුවාන් ප්‍රදේශය පිළිබඳ විවිධ කටකතා පැතිරෙමින් තිබූ කාල වකවානුවකි.සැබැවින් ම එම ප්‍රදේශයට රාත්‍රිය ඉතාමත්ම අන්තරාදායක වූයේය.ඒ සොරසතුරන්ගෙන් වත් මං පහ රන් නං ගෙන් වත් නොව වැම්පයර් භීෂණයක් එම ප්‍රදේශය තුළ සිදු වෙමින් පැවතුනේය.

මෙය ඉතා අසාමාන්‍ය වූ සිදු වීමකි.රාත්‍රී කාලයේ දී එම ප්‍රදේශයේ මං මාවත්වල කිසිවෙකුත් ගමන් නොකළේය.මිනිස් රුධිරය උරා බොමින් ජීවත්වන පිසාචයන් හෙවත් වැම්පයරයන් පිළිබඳව එම ප්‍රදේශයේ මිනිසුන් ගේ සිත් තුළ වූයේ අසීමිත භීතියකි.ඇඩම් මේ පිළිබඳව කිසිවක් දැන නොසිටියේය.

සැන්ජුවාන් තරමක් කඳුකර ප්‍රදේශයකි.අවට නිවෙස් එතරම් පිහිටා නොතිබූ එම ප්‍රදේශය තරමක් පාළු බවක් ඉසිලුවේය. බොරළු අතුල මාර්ගයක ගමන් ගත් රථය අවසානයේ දෙමහල් නිවසක් ඉදිරිපිට නතර වූයේය.

"බහින්න මහත්මයා මේ ඔබේ බාප්පාගේ නිවස."

එසේ කියමින් රියදුරා රථයෙන් බැස ඇඩම් ගේ ගමන් මල්ල ද රැගෙන නිවසේ ප්‍රධාන ද්වාරය අසලට ගොස් එය එහි පාමුල තැබුවේය. ද්වාරය අසලට ගිය ඇඩම් සීනුව නාද කළේය. මිනිත්තු කිහිපයකින් ද්වාරය විවර විය.ද්වාරය අසල සිටියේ ඉටි පහනක් අතින් ගත් මැදි වියේ පසු වූ පුද්ගලයෙකි.

"ඇඩම්...මගේ පුතේ උඹ දැන් තරුණයෙක්."

එසේ කියමින් ඔහු ඇඩම්ව වැළඳ ගත්තේය. ඔහුගේ එම ස්පර්ශයේ දැඩි සීතල බවක් ඇඩම් හට දැනුනේය.එහෙත් ඒ හැඟීම යටපත් කරගත් ඔහු සිය හඬ අවදි කළේය.

"බාප්පේ ඔබ හොඳටම වයස්ගත වෙලා."

"ඔව් මගේ දරුවෝ කාලය ගතවෙනවා. අපි වයසට යනවා.දැන් එන්න ඇතුලට."

එසේ කියමින් හෙගල් ඇන්ඩර්සන් සිය ඥාති පුතු තම නිවෙස තුළට පිළිගත්තේය. එම නිවසේ විසිත්ත කාමරය විශාල විය. පහන් ආලෝකය හේතුවෙන් එය ආලෝකමත් වී තිබුණේය.

"ඔබට හුඟක් මහන්සි පාටයි දැන් ඉක්මනින් ම පවිත්‍ර වෙලා රාත්‍රී කෑම කන්න සුදානම් වෙන්න."

හෙගල් කීවේය.

ඇඩම් පවිත්‍ර වී ආහාර ගන්නා කුටියට ඇතුළු වූයේය. මේසය මත විවිධාකාර වූ ආහාර පාන වර්ග රාශියක් විය. බ්‍රැන්ඩි සහ කුසලාන ද ඒ අතර විය. හෙගල් එම කුසලානයක් ගෙන බ්‍රැන්ඩි ස්වල්පයක් වත්කර ඇඩම් හට පිළිගැන්වූයේ ය. එය පානය කළ ඇඩම් ආහාර ගන්නට විය. හේගල් මේ මොහොතේ ආහාර අනුභව නොකල බැවින් ඇඩම් ඔහු ඇමතුවේය.

"ඔබ කන්නේ නැද්ද බාප්පේ..?"

"නෑ මගේ දරුවා.මං වේලාසන ආහාර ගත්තා. දැන් ඔබ කෑම කන්න."

ඔහු කීවේය.

ආහාර ගෙන අවසන් වූ වහාම ඔවුන් දෙදෙනා පිලිසඳරේ යෙදුණේ දෙදෙනාගේම තොරතුරු දැනගැනීමේ අදහසිනි.

"ඔබත් ඔබේ පියා වගේමයි. ඔහුත් කිසිම දේකට සැලෙන්නේ නෑ.මේ ව්‍යාපාර දියුණු කරන්න ඔහු හුඟාක් වෙහෙසෙනවා."

හෙගල් කීවේය.

"ඔබ ඇයි අපිව බලන්න නාවේ...?"

ඇඩම් ඇසුවේය.

"මේ රාජකාරි අස්සේ මට වෙලාවක් වෙන්කර ගන්න ලැබුනෙ නෑ ඇඩම්."

"ඔබ විවාහයක් කර නොගත්තේ ඇයි...?"

"මං ආස තනිවම ඉන්න.ඒක මට දැන් හුරු වෙලා."

"මෙහි මෙහෙකරුවෙකු වත් නැද්ද...?"

" නෑ මං පමණයි ඉන්නේ."

"එතකොට රථයේ රියදුරු...?"

"ඔහු රාත්‍රියට ඔහුගේ නිවසට යනවා.දැන් බොහෝම රෑ බෝ වෙලා අපට කරන්න බොහෝ දේ තිබෙනවා.ඔබ දැන් නිදාගන්න.
ඔබට උඩුමහලේ කුටියක් වෙන් කරලා ඇති."

සුභ රාත්‍රියක් පතමින් හෙගල් පිටත්ව ගියේය.ගමන් මල්ල ද සුරතට ගත් ඇඩම් උඩුමහල වෙත ගමන් කිරීම සඳහා පියගැටපෙළ නැග ගියේය.උඩුමහලේ කුටි කිහිපයක් පිහිටා තිබූ අතර තමාට වෙන් වූයේ කුමන කුටිය දැයි බාප්පා ඔහුට පැවසුවේ නැත.එහෙයෙන් තමා තෝරාගත යුත්තේ කුමන කුටිය දැයි යන්න කල්පනා කල ඇඩම් තරප්පු පෙලට ආසන්නයේම තිබූ කුටිය අසල නතර වූයේ ය.

ද්වාරය විවර කල ඇඩම් කුටිය තුලට ඇතුලු වූයේ ය.කුටිය තුල ඉටිපහනක් දල්වා තිබූ අතර එහි වූයේ කුඩා අල්මාරියක් හා යහනක් පමණි.කුටියේ බිත්ති මත මකුළු දැල් හා දූවිලි තට්ටු පිරී තිබුණේ බොහෝ කාලයකින් එම කුටිය ප්‍රයෝජනයට නොගෙන ඇති බැව් හඟවමිනි.යහන සකස් කළ ඇඩම් යහනට බර වූයේය. තම බාප්පාගේ කිසියම් වූ අසාමාන්‍ය හැසිරීමක් ඔහුට දැනෙන්නට වූයේ ය. මෙම සුවිශාල නිවසේ ඔහු තනිවම ජීවත් වීමත් ඇඩම් හට ට ගැටලුවක් විය.

තමා සවස් යාමයේ සවුත්වේල්ස් දුම්රියපොළේ දී දුටු යුවතිය එක්වරම වාගේ ඇඩම් ගේ සිතට ඇදී ආවේය.ඈ යළි දැක ගැනීමට හැකි නම් කොතරම් අගනේද යන්න ඔහු සිතුවේය.ඈ අතිශයින්ම ශෝභාසම්පන්න වූවාය.මෙසේ සිතමින් සිටින අතරවාරයේ නිදි දෙව්දුව ඔහුව වැලඳ ගත්තේය.

උදෑසන හිරු කිරණ පොළොව සිප ගන්නවාත් සමගම ඇඩම් ස්මිත් අවදි වූයේ ය. නාන කාමරයට ගොස් පවිත්‍ර වූ ඔහු විසිත්ත කාමරය වෙත පැමිණියේය. එහෙත් සිය බාප්පා පෙනෙන්නට නොවූ හෙයින් ඔහු ආහාර ගන්නා කුටියට ඇතුළු වූයේය.මේසය මත උදා ආහාර සූදානම් වී තිබුණි.එහෙත් හෙගල් පෙනෙන්නට නොවූයේය.මේසය මත කුඩා ලියැවිල්ලක් තිබෙනු දුටු ඔහු එය. සුරතට ගත්තේය එය ලියා තිබුණේ හෙගල් විසිනි.

"ඇඩම් මගේ පුතේ මට උදෑසනින්ම හදිසි රාජකාරියක් සඳහා මාගේ ව්‍යාපාර ස්ථානයට යන්න සිදු වුණා. මා නැවත පැමිණෙන විට රෑ බෝ වේවි. ඔබට නොපවසා පිටත්ව යෑම පිළිබඳව සමාව අයදිමි."

ලියවිල්ල මේසය මත තැබූ ඇඩම් ආහාර ගන්නට විය.ආහාර ගෙන අවසන් කළ ඔහු නිවසින් පිට වී ගෙමිදුල වෙත යෑමට සිතා නිවසේ ප්‍රධාන ද්වාරය විවර කළේය.එහෙත් එය අගුලු ලා තිබුනේය.ඔහු නැවත නැවතත් එය විවෘත කිරීමට උත්සාහ කලද එය ව්‍යර්ථ වූයේය.

සිය බාප්පා තමා සිර කරුවෙකු බවට පත් කර ඇති ආකාරක් ඇඩම් ගේ සිතට දැනෙන්නට වූයේ ය. ඔහු මෙසේ හැසිරෙන්නේ ඇයි ද යන්න ඇඩම් හට සිතා ගැනීමටවත් නොහැකි වූයේය.වෙනත් කිසිවක් කිරීමට නොවූ තැන ඇඩම් නිවසේ මඳක් ඇවිද සොයා බැලීමට සිතුවේය. ඔහු ප්‍රථමයෙන්ම පහත මාලයේ කුටියක් වෙත ඇතුළු වූයේය. එයද ඉතා අපිරිසිදු ආකාරයෙන් දිස් වූ අතර වසර ගණනාවකින් එය භාවිත කර නොමැති බැව් බැලු බැල්මට පෙනී ගියේය.පහත මාලයේ කුටි විශාල ප්‍රමාණයක් පිහිටා තිබුණේය.තවත් එක් කුටියක් සමීපයට ගිය ඇඩම් එහි ද්වාරය විවර කිරීමට උත්සාහ කළ ද එය අගුළු ලා තිබුණේය.

මෙසේ ඔහු තවත් කුටියක් වෙත ගොස් එය ද විවර කිරීමට උත්සාහ කළේය. අගුළු ලා නොතිබූ එම ද්වාරය විවර වූයේ ය. කුටියට ඇතුළු වූ ඔහුට දැකගත හැකි වූයේ තම බාප්පා හෙවත් හෙගල් ඇන්ඩර්සන් යහනක් මත නිදා සිටින අයුරුය.එය දුටු ඇඩම් විස්මයට පත් වූයේය. හෙගල් ව්‍යාපාර ස්ථානයට ගිය බව ඔහු ලියමනකින් තමාට දන්වා තිබුණේය. එහෙත් ඔහු නිවසේ කුටියක යහනක් මත වැතිර සිටින්නේ ය. ඇඩම් හට කිසිවක් සිතාගැනීමට නොහැකි වූයේය. ඔහු තමාට මුසාවක් පැවසුවේ ඇයිද යන්න සිතමින් ඇඩම් යහන සමීපයට ගියේය.

හෙගල් ඇන්ඩර්සන් මළමිනියක මෙන් නිසොල්මන්ව යහන මත වැතිර සිටියේය. ඔහුගේ මුහුණේ තිබුණේ අතිශයින් සුදුමැලි පෙනුමකි. හෙගල් ගේ මුව අඩක් විවර වී තිබූ අතර මඳක් ඔහු වෙත නැඹුරු වූ ඇඩම් හට දුටු දසුනින් සිතට නැඟී ආවේ නුහුරු භීතියකි. සිය බාප්පාගේ මුවේ රදනක දත් යුගලය ඉතා අසාමාන්‍ය අයුරින් දිගු වී ඇති බවක් ඔහුට පෙනුනේය. සිතට හැඟුණු භීතිය හේතුවෙන්ම ඔහු කුටිය තුළින් පිටතට දිව ගියේය.

මේ සිදුවන්නේ කුමක් ද යන්න ඔහුට සිතාගැනීමට නොහැකි වූයේය.ව්‍යාපාර ස්ථානයට පිටත් ව ගිය බැව් පැවසූ සිය බාප්පා මේ මොහොතේ ඔහුගේ කුටිය තුල තද නින්දක පසු වෙයි. එපමණක්ද නොව ඔහුගේ රදනක දත් වල තිබූ අසාමාන්‍ය ලෙස දිගු බවද ඇඩම් ගේ සිතට දැඩිව පැන නැගුනු ගැටළුවක් වූයේ ය. තමා මෙහි සිරකරුවකු බවට පත් කරමින් ඔහු ලබන තෘප්තිය කුමක්ද?

දහවල උදා වූ අතර ඇඩම් කුටියෙන් පිටවී ආහාර ගන්නා කුටියට ඇතුළු වූයේය. මේසය මත ආහාරය සූදානම් වී තිබුණි.

මෙම නිවසේ සේවකයන් නොසිටියහ. එසේ නම් මෙසේ ආහාර මේසය මත සූදානම් වන්නේ කෙසේද? සිය බාප්පා නිදා සිටි කුටිය වෙත ගොස් නැවත සොයා බැලීමට මේ මොහොතේ ඇඩම්ට සිතුණේය. එහෙයින් ඔහු ආහාරද නොගෙන හෙගල් ගේ කුටිය වෙත ගොස් එහි ද්වාරය විවර කර ඇතුළත නිරීක්ෂණය කළේය.

පුදුමයට කරුණකි! ඔහු එහි නොසිටියේය. කුටියට පිවිසි ඇඩම් කුටිය හොඳින් පිරික්සුවේය. එහෙත් කිසිවෙකුත් එහි නොවීය.
මේ මොහොතේ හෙගල් සිටියේ ඊට යාබදව පිහිටි කුටියේ යහනක තද නින්දකය. ඇඩම් එහි ගොස් සොයා බැලුවේ නම් නිසැකයෙන්ම හෙගල් ව ඇඩම්ට දැකගත හැකිවනු ඇත.

සිය බාප්පා ගේ ගුප්ත හැසිරීම වඩ වඩාත් උත්සන්න වී ඇති බැව් ඇඩම් ගේ සිතට හැඟී ගියේ ය. කුටියෙන් පිටවූ ඔහු නිවසේ ප්‍රධාන ද්වාරය නැවතත් විවර කිරීමට උත්සාහ කලේය. එහෙත් එය නිශ්ඵල ප්‍රයත්නයක් විය. එය අගුළු ලා තිබුණේය.

ඇඩම් ගේ උගුර කට වියළී තිබුණේ දැඩි පිපාසයකට ලක් වූ වෙකු පරිද්දෙනි.ආහාර ගන්නා කුටියට ඇතුළු වූ ඔහු බ්‍රැන්ඩි ඩිකෙන්ඩරයෙන් බ්‍රැන්ඩි ස්වල්පයක් ගිල දැමූවේය. ඔහු ආහාරයද නොගෙන තම කුටිය වෙත පිටත්ව ගියේ ය.

සැන්ජුවාන් හී බටහිරින් පිහිටි කඳු මුදුන් අතරින් මළ හිරු බැස යමින් සිටියේ මේ අවාසනාවන්ත දේශයට තවත් එක් භීෂණාත්මක රාත්‍රියක් උදාකරමිනි.

මේ මොහොතේ හෙගල් ගේ නිවසේ සිටි ඇඩම් සිය කුටියෙන් පිටවී පහත මාලය දෙස වික්ෂිප්තව බලා සිටියේය. ඒ විසිත්ත කාමරය පහන් ආලෝකයෙන් ආලෝකමත් වී ඇති අයුරු දැකීමෙනි. මෙය සිදු කරන්නට ඇත්තේ තම බාප්පා ද?එසේ සිතමින් ඔහු විසිත්ත කාමරය වෙත පැමිණියේය.එහි අසුනක් මත හෙගල් හිඳ සිටියේය.

"ඔබ කොයි මොහොතේද ආවේ බාප්පේ?"

ඇඩම් ඇසුවේ නොසතුටෙනි.

"මීට මොහොතකට කලින් ඇඩම්. අද බොහෝම වැඩ අධික දවසක් .ඔබට නොදන්වා පිටත්වයාම පිළිබඳව මට සමාවෙන්න."

හෙගල් කීවේ ය.

හෙගල් නිවසින් පිටවී ගොස් නොසිටි බැව් ඇඩම් මේ වන විට ද දැන සිටියේ ය. එහෙත් ඇඩම් ඒ බවක් ඔහුට නො පැවසුවේ ය.

"ඔබ දහවල් ආහාරය ගෙන නෑ මගේ දරුවා."

හෙගල් කීවේ ය.

"මට කුසගින්නක් දැනුණේ නෑ.ඒ නිසා ආහාර ගත්තේ නෑ.ඔබ ඇයි දොර අගුලු ලා තිබෙන්නේ."

"ඔබ නිවසින් පිට වෙන්න උත්සාහ කලාද?"

හෙගල් ඇසුවේ දෙබැම රැලි නංවමිනි.

"මට නිවසට වෙලා ඉඳලාම අපහසුවක් දැනුනා. ඒ නිසයි එලියට යන්න හිතුවේ."

"මාත් නිවසේ නොසිටි නිසා මං දොර අගුලු ලෑවා. හොඳයි ඔබට හෙට උදෑසනින්ම නිවසෙන් පිටත් වෙන්න පුළුවන්. දැන් ඔබ ආහාර ගන්න."

"ඇයි ඔබ ආහාර ගන්නේ නැද්ද?"

ඇඩම් ඇසුවේය.

"මම කෑවා ඔබ කන්න."

හෙගල් ආහාර නොව ජල පොදක් හෝ පානය කරනු ඇඩම් තවමත් දැක නොතිබුණේය. ඔහු පවසන්නේ මුසාවක් බැව් ඇඩම් දැන සිටියේය.

මෙවෙලෙහි ඇඩම් හෙගල් ගේ මුහුණ හොදින් පිරික්සුවේය.පහන් වල ආලෝකයෙන් ඔහුගේ රදනක දත් යුගල දිගු වී ඇති අයුරු කැපි පෙනුණේය.

ඇඩම් ගේ සිතට අසීමිත භීතියක් දැණුනද ඔහු ඒ බවක් තම ඉරියව්වලින් නොපෙන්වා සිටීමට වගබලා ගත්තේය.

ආහාර ඉතා රසවත්ව පිළියෙල කර තිබුණද ඇඩම් එතරම් ප්‍රිය තාවයකින් ආහාර අනුභව නොකළේ ය. ආහාර කිස නිම වූ පසු හෙගල් ඇඩම් ඇමතුවේය.

"හෙට උදෑසනින්ම මා ඔබත් සමඟ ව්‍යාපාරස්ථානයට යනවා. ඒ නිසා දැන් ඔබ නිදාගන්න."

"හොඳමයි බාප්පේ."

සුබ රාත්‍රියක් පතමින් ඇඩම් උඩු මහලට නැගුණේය.

ඇඩම් සිය කුටියට පිවිස යහනේ වැතිරුනේය. සිය බාප්පාගේ ක්‍රියාකාරකම් හා ඔහුගේ හැසිරීම් රටාව පිළිබඳව ඇඩම්ගේ සිතට දැනී තිබුණේ අතිශය භීතියකි.ඔහු ආහාරපාන පවා ගන්නා බවක් ඇඩම්ට නොපෙණුනේය. ඔහුගේ කුමක් හෝ රහසක් සැඟවී ඇති බවක් ඇඩම් හට වැටහුනේය.

තමා පෙර දින සවස් යාමයේ සවුත්වේල්ස් දුම්රිය පොළේ දී දුටු ඒ සුන්දර යුවතිය ඔහුට මෙවෙලෙහි සිහියට නැඟුනේය. ඈ අතිශය රූමත් වූවාය. ඇඩම් දැන් ඇයට සිතින් ප්‍රේම කිරීමට පවා උත්සාහ දරා තිබුනේය. තමාට නිවසෙන් පිට වීමට හැකියාවක් තිබුණා නම් ඔහු නිසැකයෙන්ම ඇය සොයා යනු ඇත. මෙසේ සිතමින් සිටින අතරවාරයේ ඔහු නින්දට වැටුණේය.

සැන්ජුවාන් හී කඳු මුදුන්වල සිටි වෘකයෝ එක විට කෑගසන්නට වූයේ හාත්පසම භීතියෙන් මුසපත් කරමිනි.සැන්ජුවාන් හී දෙමහල් මන්දිරයක සිට කාල වර්ණ දැවැන්ත වවුලෙකු අන්ධකාරයට එක්වූයේ මේ මොහොතේය. ඉතා වේගයෙන් ගමන් කළ මේ අසාමාන්‍ය විශාල වවුලා අන්ධකාරයේ බලවේගයක් ම වූයේ ය.

මේ මොහොතේ ශාන්ත ලෝරන්ස් හී එක් නිවසක උඩුමහලේ කුටියක නිදි යහනේ වැතිර උන් සුන්දර යුවතියකි. ඒ අන් කවරෙකු වත් නොව ඇඩම් ස්මිත් තරුණයා පෙර දින සවස් යාමයේ දී සවුත්වේල්ස් දුම්රිය පොළේ දී දුටු සුන්දර යුවතියම වූවාය.

ඈ නමින් ලීසා වූවාය. විසි දෙවැනි වියේ පසු වූ මේ සුන්දර යුවතිය සිතමින් සිටියේ පෙරදින සවස් යාමයේ සවුත්වේල්ස් දුම්රිය පොළේ පදික වේදිකාවේ අසුනක් මත හිඳසිටි කඩවසම් තරුණයා පිළිබඳවය.ඒ ඇඩම් ස්මිත් තරුණයාම විය.ඈ ඔහු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ඔහුගේ තිබු කඩවසම් බව හේතුවෙනි.ඇයට ඔහු යලි දැක බලා ගැනීමට මහත් ආශාවක් උපන්නා ය. එහෙත් ඔහු සොයාගන්නේ කෙසේද? මෙසේ සිතමින් සිටින අතරවාරයේ ඇය නින්දට වැටුණාය.

මේ මොහොතේ අන්ධකාරයෙහි සැරිසැරූ දැවැන්ත කාල වර්ණ වවුලා ලීසා ගේ නිවස වටා පියාසර කරමින් සිටියේය. මෙසේ සැරිසැරූ එම නිශාචර සත්ත්වයා අවසානයේ ලීසා නිදා උන් කුටියේ කවුලු පියන්පත අසලට ආවේය. මොහොතක් ගතවිය. කුටිය තුළින් ශ්වේත පැහැති දුමාරයක් ගලා ගියේ ය. ඒ තුළින් ප්‍රාදුර්භූත වූයේ කාලවර්ණ දිගු ලෝගුවක් හැඳ ගත් පුද්ගලයෙකි. සැබැවින්ම මේ සිටියේ අන්ධකාරයේ බලවේගයකි.

රුධිර පිපාසාවෙන් පෙළෙන වැම්පයර් ආත්මයක් ලීසා ගේ කුටිය තුළ මේ මොහොතේ රැඳී සිටියේය.තද නින්දේ පසු වූ ලීසා මේ කිසිවක් දැන නොසිටියාය. ඇයගේ යහන අසලට ඇදී ගිය මේ අද්භූත අමනුෂ්‍යයා ඈ දෙස හොඳින් බැලුවේය. ඇයගේ ලමැද උස් පහත් වෙමින් තිබූ අතර සුන්දර වූ වත කාන්තියෙන් බැබලුණා ය.ඇය වෙත නැඹුරු වූ ආගන්තුකයා ඇයගේ ගෙල වටා වැටී තිබූ කෙහෙරැලි සිය සුරතින් ඉවත් කලේය. ඉන් පසුව තම මුව ඇයගේ ගෙල මත තැබුවේය.

තියුණු රදනක දත් යුගලයෙන් ඇගේ ගෙල සිදුරු කළ මේ අමනුෂ්‍යයා රුධිරාභිෂේකය ඇරඹුවේය.ලීසාටතියුණු වේදනාවක් දැනුණු අතර ඇය අවදි වූවාය.තමා ග්‍රහණය කරගෙන සිටින මේ දැවැන්ත පුද්ගලයා කවුරුන්ද යන්න ඇය නොදැන සිටියාය.ඇය කෑ ගැසුවා ය.එහෙත් එය සජීවී හඬක් ලෙස පිට නොවූවාය. මොහොතකින් ඈ සිහිසුන් වූවා ය.

රුධිරාභිෂේකය අවසන් කළ ආගන්තුකයා කුටියෙන් අතුරුදන්වී වවුල් වේසයක් ගෙන අන්ධකාරයේ නොපෙනී ගියේය.

මේ කිසිත් නොදත් ඇඩම් සුව නින්දක පසු වූයේය. වේලාව මේ වන විට අළුයම් කාලයට ආසන්න වී තිබුණේය. ඇඩම් නිදා සිටි කුටියේ කවුළුව තුළින් එක්වරම මතු වූයේ කුඩා ආලෝක ලපයකි.මොහොතකින් එය ඇඩම් ගේ යහන අසලටම පැමිණියේය.ක්‍රමයෙන් විශාල වූ එම ආලෝකය තුළින් මතු වූයේ ශ්වේත පැහැති රාත්‍රී දුහුල් ගවුමකින් සැරසුණු සුන්දර වූ යුවතියකි.තද නින්දේ පසු වූ ඇඩම් දෙස බැලූ ඇය ඔහු ඇමතුවාය.

"ඇඩම්... ඇඩම්..අවදි වන්න.. මම ආවා..."

ඈ කිංකිණි පරයන හඬකින් ඔහුව ඇමතුවාය. තිගැස්සී අවදි වූ ඇඩම් අවට බැලූවේය.ඔහුගේ නෙත ගැටුණේ සුන්දර වූ යුවතියකි. මේ මොහොතේ මෙහි පැමිණියේ කවුරුන්ද යන්න ඔහුට සිතා ගැනීමටවත් නොහැකි විය. යහනෙන් මදක් එසවී ඔහු ඇය දෙස බැලුවේය. මොහොතකින් ඔහු ඇයව හඳුනා ගත්තේ ය. මේ සිටින්නේ තමා සවුත්වේල්ස් දුම්රිය පොළේ දී දුටු යුවතියම බැව් ඔහු වටහා ගත්තේය. එහෙත් ඈ මෙහි පැමිණියේ කෙසේද? ඇය තමා ගේ නම දැනගත්තේ කෙසේද?එය ඇඩම් හට මහත් වූ ගැටලුවක් වූයේය. මඳක් නිහඬව සිටි ඔහු අවසානයේ සිය හඬ අවදි කළේය.

"ඔබ කොහොමද මෙහාට ආවේ?"

"ඇඩම්... ඇයි ඔබ කලබල වෙලා..? මා පැමිණියේ ඔබව මුණගැහෙන්න. ඔබට මාව මතකයි නේද?"

ඇඩම් යහනෙන් නැගී සිටියේය. ඇය තවත් ඔහුට ළං වූවාය. ඇයගේ මුහුණ අතිශයින්ම සුදුමැලි වී ගොස් තිබුණාය.ඇය ඔහුව වැළඳ ගත්තාය. ඇඩම් හට දැනුනේ එම ස්පර්ශයේ අධික ශීතලකි. තම බාප්පා වූ හෙගල් ඇන්ඩර්සන් තමා වැළඳ ගත් මොහොතේ ද මෙවැනිම වූ අධික ශීතලක් ඔහුට දැනුණේය.මොහොතකින් ඈ ඇඩම්ගේ ගෙල මතට තම මුව තැබීමට සැරසුණේ ඔහුගේ රුධිරය උරා බීමේ අදහසිනි.

ඒ මොහොතේ සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිදු වීමකි. කුටියේ අඳුරු මුල්ලක් තුළින් ශ්‍වේත පැහැති මීදුම් පටලයක් ගලා ආවේය.ඒ තුළින් පාදූර්භූත වුයේ කාල වර්ණ දිගු ලෝගුවක් ගත දවටා ගත් හැඩිදැඩි අයෙකි.

"අහකට පලයන්.. ඔහු අයිති මටයි..."

එසේ කියමින් ඒ අද්භූත ආගන්තුකයා කෑ ගැසූවේය. ඒ හඬට බිය වූ ලීසා පිටුපසට පැන්නේ විලාප නගමිනි. මොහොතකින් ඈ ශ්වේත පැහැති මීදුම් පටලයක් ද සමගින් අතුරුදන් වූවාය.තමා ඉදිරියේ මේ සිදුවන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට නොහැකි වූ ඇඩම් ගේ හිස බඹන්නට වූයේ ය. තමා ඉදිරිපිට සිටින අද්භූත පුද්ගලයා දෙස ඇඩම් හොඳින් බැලුවේය. ඔහු හඳුනාගත් ඇඩම් අතිශය භීතියට පත් වූයේය. ඒ සිටියේ අන් කවරෙකුවත් නොව තම බාප්පා වූ හෙගල් ඇන්ඩර්සන්ම වූයේය.

මීට වසර ගණනාවකට පෙර ඔහු අන්ධකාරයේ බලවේගයක් වූ අති බිහිසුණු වැම්පයර් ආත්මයක් ලබා සිටියේය.සැන්ජුවාන් පමණක් නොව ශාන්ත ලෝරන්ස් ප්‍රදේශයන් පවා භීතියෙන් ඇලලී ගිය වැම්පයර් භීෂණයට වගකිවයුත්තා ද ඔහුම වූයේය.

"බාප්පේ ඔබට මේ මොනවා වෙලාද?"

ඇඩම් ඇසුවේ වෙව්ලන ස්වරයෙනි.

"ඇඩම් මගේ පුතේ උබත් උබේ තාත්තාත් ගෙවන ඔය නී රස ජීවිතේට වඩා මේ ජීවිතය බොහෝම උතුම්. ඉතින් උබත් මගේ මේ අන්ධකාර ලෝකයට වරෙන්.... අපි එකතුවෙලා මේ අන්ධකාර ලෝකය පාලනය කරමු."

ඔහු උමතුවෙන් මෙන් කීවේය.

හෙගල් ගේ දෑස් රත් පැහැති වූ අතර තියුණු රදනක දත් යුගල ද පෙරටත් වඩා දිගුවී තිබුණේය.මේ සිටින්නේ වැම්පයර් ආත්මයක් ලැබූ සිය බාප්පමය.දෙවියනේ!දැන් තමා කුමක් කරන්නේ ද යන්න ඔහු සිතුවේය.

හෙගල් ඇන්ඩර්සන් හට අවශ්‍ය වූයේ තම ඥාති පුතු ද ඔහුගේ අන්ධකාර ලෝකයට ගෙන්වා ගැනීමටය. එහෙයින් ඔහු කූට උපායකින් ඔහුව තම නිවසට ගෙන්වා ගත්තේය.ඇඩම් නිවසට රැගෙන ඒමට දුම්රියපොළට රියදුරෙකු ලෙස ගියේ වෙන කිසිවකු නොව වෙස්වලාගත් හෙගල් ඇන්ඩර්සන්මය.

එපමණක්ද නොව දෛවයේ හාස්කමකට මෙන් සවුත්වේල්ස් දුම්රියපොළේ දී ඇඩම් දුටු ඒ සුන්දර යුවතිය ලීසා ද මීට මොහොතකට පෙර ඔහුගේ ග්‍රහණයට නතු වී වැම්පයර් ආත්මයක් ලබා සිටියාය.

ඇඩම් කිසිවක් කර කියාගත නොහැකිව හෙගල් දෙස බලා සිටියේය.

ඔහු තව තවත් ඇඩම් දෙසට එන්නට වූයේය. ඇඩම් වැම්පයරයන් ගැන අසා තිබුන ද මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් පළමු අවස්ථාව ම වූයේය.තම ආරක්ෂාව සඳහා ඇඩම් නිරන්තරයෙන්ම රිවෝල්වරයක් ළඟ තබා ගත්තේ ය.එහෙත් එය තම බාප්පාට එරෙහිව යෙදවිමට ඔහු පැකිලුණේය.

කෙසේ නමුත් මේ සිටින්නේ වැම්පයර් ආත්මයක් ලැබූවෙකි. ගිනි අවියක් එවැනි අමනුෂ්‍යයෙකුට එරෙහිව යෙදවිය හැකිද යන්න ඔහු සිතන්නට විය. කෙසේ නමුත් වෙනත් විකල්පයක් නොවූ තැන ඇඩම් යහනේ සඟවා තිබූ රිවෝල්වරය ගෙන එය හෙගල් වෙත එල්ල කළේය .

එය දුටු හෙගල් ගේ ස්වරූපය වෙනස් වූයේය.

"උබ උඹේ බාප්පට වෙඩි තියනවද?"

හෙගල් ඇසුවේ වියරුවෙන් මෙනි.

දෙවරක් නොසිතූ ඇඩම් රිවෝල්වරයේ කොකා ගැස්සුවේය. රිවෝල්වරය ක්‍රියාත්මක විය. උණ්ඩය හෙගල් ගේ ලයෙහි වැදුන ද ඔහුට කිසිදු හානියක් නොවූයේය. නැවත නැවතත් ඇඩම් රිවෝල්වරය ක්‍රියාත්මක කළේය. එම ප්‍රහාරවලින් හෙගල් මදක් පසුබා යැවීමට ඔහු සමත් විය. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ඇඩම් කුටියෙන් පිටතට පැන විසිත්ත කාමරය වෙත දිව ගියේය.එහි දී ඇඩම් දුටු දසුනින් ඔහුගේ භීතිය දෙගුණ තෙගුණ වුයේය.

විසිත්ත කාමරයේ සිටියේ සුරූපී යුවතියන් පිරිසකි ඒ අතර තමා පෙම් කළ සුන්දර යුවතිය ලීසා ද සිටින බව දුටු ඇඩම් හට දැනුනේ අසීමිත වේදනාවකි. තම කුරිරු බාප්පා අතින් ඇය ද වැම්පයර් ආත්මයක් ලබා ඇති බැව් ඔහු දැන සිටියේය. එක්වරම ඒ සුරූපි යුවතියෝ තියුණු දසන් විදහා පාමින් මල යක්ෂණියන් මෙන් ඇඩම් වෙත දිව ආවෝය.

"අහකට පලයව්...ඔහුගෙන් ඈත් වෙලා හිටපල්ලා...ඔහු අයිති මටයි.."

හෙගල් උඩුමහලේ සිට ගිගිරුවේය. ඒ හඬට බිය වූ යුවතියෝ ඇඩම් වෙත ලං නොවූහ.

නිවසේ ප්‍රධාන ද්වාරය අගුලු ලා තිබූ හෙයින් ඇඩම් රිවෝල්වරය ගෙන එහි අගුලට වෙඩි තැබුවේය.දැඩි හඬක් නගමින් අගුල බිඳී ගියේය.ද්වාරය විවර කරගත් ඇඩම් එයින් පිටතට පැන ගත්තේ විදුලි වේගයෙනි.

අඳුරු ගෙවත්තේ නවතා තිබූ අසිරිය දුටු හෙතෙම එය තමාගේ ගැලවවුමට යොදා ගත හැකි බව වටහා ගත්තේය.එහි රියදුරු අසුනට නැගගත් ඇඩම් අසු ඉදිරියට මෙහෙය වූයේය. ඉදිරිපස ගේට්ටුව ද අඟුලු ලා තිබුණු අතර එහි අගුල ද රිවෝල්වර උණ්ඩයකින් බිඳ දැමු ඔහු පාළු අඳුරු මාවතේ වේගයෙන් අස් රිය ඉදිරියට මෙහෙය වූයේය.

තවත් මොහොතකින් හිරු උදා වන හෙයින් වැම්ප‍යරයන්ට ආලෝකය අකැප වූයේය.හෙගල් ඇන්ඩර්සන් තම ඥාති පුතු වූ ඇඩම් ස්මිත් හඹා නො ආවේ එබැවිනි.

සමාප්තයි.


Episode Name :
වැම්පයර් භීෂණය (The Vampire Terror) [02 Oct 2023]

Read Episode


Story :
අඳුරු මාවත (The Dark Way)


Date :
2023.10.13

Description : මිතුරෙකුගේ ප්‍රිය සම්භාෂණයකට ගොස් සිය නිවස වෙත නැවත යමින් සිටි සමන් නම් වූ ලිපිකරුවෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 13 Oct 2023

Read Story Now


Story :
මිනිසුන් අතර දෙවියෙක්


Date :
2023.10.10

Description : දරිද්‍රතාවෙන් පෙලෙන කුටුම්බයක ජීවන අරගලයක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 10 Oct 2023

Read Story Now


Story :
මාවතේ ගීතය


Date :
2023.10.08

Description : සමාජයේ ඇස නොගැටෙන වීථි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ ශෝචනීය සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 08 Oct 2023

Read Story Now


Story :
අබිරහස් යුවතිය (The Mysterious Girl)


Date :
2023.10.07

Description : සිල්වෙස්ටර් ජොහැන්නස් නම් තරුණයෙකු සිය නිවසේදි අත් දකින අද්භූත සිදුවීමක් මෙම නිර්මාණය තුලින් පිළිඹිබු වේ.

Date Added : 07 Oct 2023

Read Story Now


Story :
බිහිසුණු රැයක් (A Terrible Night)


Date :
2023.10.04

Description : හල්දෙමුල්ල ගම්මානයේ විසූ සිරිදාස නම් ගොවියෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
වැම්පයර් භීෂණය (The Vampire Terror)


Date :
2023.10.02

Description : ඇඩම් ස්මිත් නම් තරුණයෙකු සිය බාප්පාගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඔහුගේ නිවස වෙත පිටත්ව යයි.එහිදී ඇඩම් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් සමූදායක් මෙම කතාන්දරය තුලින් පිළිඹිබු වේ.

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
මළවුන්ගේ හෝරාව (The Hour Of Dead)


Date :
2023.10.02

Description : සේරුවිල ගම්මානයට එල්ලවන අද්භූත බලවේගයක් හා මෙම කතාන්දරය ගෙතී ඇත.

Date Added : 02 Oct 2023

Read Story Now