බිහිසුණු රැයක් (A Terrible Night)

කෙටි කතාව

කර්තෘ-රුවන් චින්තක

හිරු අවරට ගොස් අන්ධකාරය උදා වූවේය. සඳ පායා තිබු බැවින් හාත් පස පැවති ගණදුර මදක් හෝ පහව ගියේය.එහෙත් එයද කළු වළාවෙන් වැසී යත්ම මුළු පරිසරයම දැඩි අඳුරු බවකින් වෙලී යන්නට විය.

හල්දෙමුල්ල ග්‍රාමයේ වෙසෙනා සිරිදාස ගොවියෙකි.ඔහු දිනපතා ම රාත්‍රියේ තම හේනේ පැල්පත වෙත පිටත්ව යන්නේ හේන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි.

මෙදින ද ඔහු සුපුරුදු පරිදි සිය හේනේ පැල වෙත යාමට පිටත් විය.ගිනි හුලක් දල්වා ගත් ඔහු තම ගිනි බටය ද රැගෙන අඳුරේම පිටත් විය.හේනට පිවිසි ඔහු ගස මුදුනේ තනා ඇති පැලට ගොඩ වූවේය.

පැලෙහි ඉදිරිපස ලන්තෑරුම දැල්වූ ඔහු දුම් වැටියක් උරන්නට වූයේ අවට හොඳින් නිරීක්ෂණය කරන අතරතුරය.

සඳ එළියෙන් නැහැවී තිබූ වෙල්යාය දෙස බලමින් සිටි ඔහු දුටුවේ කිසියම් වූ අපැහැදිලි ඡායාවක් වෙල්යාය හරහා ගමන් කරන අයුරුය.

වන සතෙකු හේනට පැමිණෙනවා දැයි සිතමින් ඔහු එදෙස හොඳින් බැලුවේ ගිනි බටය ද සුරතට ගනිමිනි.එහෙත් එම ඡායාව සතෙකුගේ නොව මිනිස් රුවක ස්වභාවයක් ගත් බැවින් ඔහු මදක් වික්ෂිප්ත විය.

සඳ පායා තිබූ එම මොහොතේ ඉතා පැහැදිලි අයුරින් වෙල්‍ යාය ඔහුට නිරීක්ෂණය වූවේය.පැමිණෙන්නා කවුරුන් වුව ද ඔහු පැමිණෙන්නේ තමා රැඳී උන් පැල්පත වෙත බැව් දුටු සිරිදාස ගිනි බටය ද සුරතට ගෙන හිණි පෙළ බැස වෙල්යාය මතට පිවිසියේය.

තමා ඉදිරිපිටට පැමිණෙන්නේ කාන්තාවක් බැව් දුටු ඔහුගේ දෑස් පුළුල් වූවේය. ඒත් සමගම වාගේ සඳ අඳුරු වළාවෙන් වැසී යන්නට විය.වේගවත් සුළං රැල්ලක් හමා ගියේ සිරිදාසගේ ගත හිරි වට්ටමිනි.

මන්දාලෝකය මධ්‍යයේ තමා ඉදිරිපිට සිටින්නේ කවුරුන්ද යන්න දැනගැනීමට ඔහු දෑස් අයා බලා සිටියේය.

මීදුම් වලාවක් මධ්‍යයේ සිරිදාස ඉදිරියේ සිටියේ ශ්වේතවර්ණ රාත්‍රී ගවුමකින් සැරසුණු කාන්තාවකි.

ඇයගේ තද රත් පැහැති දෙතොලත්, සුදුමැලි වූ මුහුණත් දුටු සිරිදාසගේ සිත මදක් චංචල වූවේය.මේ රාත්‍රියේ මෙහි පැමිණි කාන්තාව කවුරුන්ද යන්න සිතමින් ඔහු යමක් කීමට මුව විවර කළේය.

එහෙත් තමා ඉදිරිපිට සිටගෙන සිටින එම කාන්තාව එක්වරම අතුරුදන්ව යනු දුටු ඔහුගේ මුව ගොලු වූවේය.දෑස් අදහාගත නොහැකි වූ සිරිදාසගේ සිරුරින් ඩහදිය වැගිරෙන්නට වුයේ කඩා හැලෙන දිය ඇල්ලක් මෙනි. නුහුරු භීතියකින් ඔහුගේ සිත වෙලී යන්නට වූවේය.

ගිනි බටය සුරතින් දැඩි සේ ග්‍රහණය කරගත් ඔහු පියවර කිහිපයක් ඉදිරියට ගියේ එම රුව අතුරුදන් වූයේ කෙසේ දැයි සිතමිනි.ඈත මසං ගසක සිටි බකමූණෙක් හඬ තැලූවේ මෙවෙලෙහිය.එම හඬ සවනත වැකෙත්ම පරුෂ වචන කීපයක් මුවින් පිටකල සිරිදාස ආපසු හැරුණේ පැල වෙත ගමන් කිරීමටය.

එහෙත් ඔහු ඉදිරිපිට සිටියේ පෙර අතුරුදන් වූ කාන්තාවය.ඇයගේ ස්වභාවය පෙරටත් වඩා වෙනස් වී තිබෙනු දුටු සිරිදාස ගේ මුවින් පිටවූයේ මරලතෝනියකි. තමාගේ සිරුර අප්‍රාණික වී යනු ඔහුට දැනුණේය.

ඇයගේ මුහුණ අතිශයින්ම අති භයංකර විය. ගිනි පුළිඟු බඳු වූ දෑස්, පිටතට නෙරා තිබූ රදනක දත් යුගලයත් නෙත ගැටෙත්ම තමා ඉදිරිපිට සිටින්නේ අමනුෂ්‍යයකු බැව් වටහා ගැනීමට සිරිදාසට ගතවූයේ තත්ත්පර කීපයකි.

ඔහු වෙව්ලන දෑතින් ගිනි බටය ග්‍රහණය කරගෙන පියවර කිහිපයක් පිටුපසට ගමන් කළේ‍ය.සිතේ තිබූ භීතියත් අධික කම්පනයත් හේතුවෙන් ම ඔහු එම බිහිසුණු රුව වෙතට ඉලක්කය ගෙන කොකා ගැස්සුවේය.දැඩි හඬක් නගමින් ගිනි අවිය ක්‍රියාත්මක විය.

එහෙත් එම අද්භූත රුවට කිසිවක් නොවීය.ඔහු නැවත වරක් ගිනි අවිය ක්‍රියාත්මක කළේය.එහෙත් ඉන් ඵලක් නොවීය. උස් හඬින් සිනහ පහළ කළ ඇය ශ්වේතවර්ණ මීදුම් වලාවක් මැද අතුරුදහන් වූයේ ඇසි පිය හෙළන තරම් වේගයකිනි. තම දෑස් ඉදිරිපිට සිදු වූ මෙම විපර්යාසය දුටු සිරිදාස මුව අයා බලා සිටියේ කුමක් කරන්නේ දැයි සිතාගත නොහැකිවය.

තත්ත්පර කිහිපයක් එසේ සිටි ඔහු අවසානයේ සිහි විසඥව මිහිමත ඇද වැටුණේය.

********************************************

පසුදාට පහන් විය.සිරිදාසගේ බිරිඳ වූ පියවතී ඔහු තවමත් නිවසට නොපැමිණීම හේතුවෙන් පැළ වෙත ගොස් සොයා බැලීමට සිතා නිවසින් පිටත් වූවාය.

වෙල්යාය වෙතට පැමිණි ඇය පැල අසලට ගොස් උස් හඬින් සිරිදාස ඇමතුවාය.

එහෙත් කිසිදු ශබ්දයක් නොමැති එබැවින් ඈ හිණි පෙළ නැග පැලට ඇතුළු වූවාය. පැල තුල ද ඔහු දක්නට නොවීය.රාත්‍රියේ ගෙන ආ බත්මුල ද එලෙසම පසෙක තබා තිබිණ.පියවතීගේ සිතට නැගුණේ භීතියකි.

ඇය පැලෙන් බැස වෙල්යාය දිගේ කෑගසමින් සිරිදාස සොයන්නට විය.

හෝරාවක් පමණ මෙසේ සෙව්වත් සිරිදාසගේ සලකුණක්වත් සොයා ගැනීමට නොහැකි විය. ඇය ඉක්මන් ගමනින් දිවගියේ ගම්මුන්ට මේ බව දැන්වීමට ය.අඩ හෝරාවකට පමණ පසුව ගමේ පිරිසක් වෙල්යායේ සිරිදාස සොයමින් සිටියහ.

වෙල්‍ යායේ එක් අන්තයක තිබී සිරිදාස ගේ ගිනි බටයත්,ලන්තෑරුමත් සොයා ගැනීමට ඔවුනට හැකි වුවද සිරිදාස ගේ සලකුණක්වත් සොයා ගැනීමට නොහැකි විය.

********************************************

මීට මාස කිහිපයකට පෙර සිරිදාස අතින් කාන්තාවක් ඝාතනය වී තිබුණේය. රාත්‍රී කාලයේ දී වෙල්යාය හරහා තනා තිබූ මාවත ඔස්සේ පැමිණි සෙනෙහෙලතා නම් වූ කාන්තාව තම අත් බෑගය වැරදීමකින් වෙලට වැටී එය ගැනීමට වෙල් යාය මතට ගොස් සිටියාය.

පැලෙහි සිටි සිරිදාස සිතුවේ වන සතෙකු වෙල්යායට පැමිණ ඇතැයි කියාය. ගිනි බටය ද සුරතින් ගත් ඔහු පැලෙන් බැස වෙල්යාය මතට ගොස් එම රුව ඉලක්ක කර වෙඩි තැබුවේය. මර ලතෝනියක් සමඟ ඇය ඇද වැටුණාය.එම හඬට බිය වූ සිරිදාසගේ දෑස් ඉහළ ගියේය.ඔහු ඉතා වේගයෙන් එ දෙසට දිව ගියේය.

දුටු දසුනින් ඔහුගේ සිත භීතියෙන් හා වේදනාවෙන් පිරී ගියේ ය.වෙල් යාය මත වැටී සිටියේ වන සතෙකු නොව ගමේ සිටි තරුණ කාන්තාවක් වූ සෙනෙහෙලතා බැව් දුටු ඔහුට කාරණා වැටහී ගියේය.

හිසට වැදී තිබූ වෙඩි ප්‍රහාරයෙන් රුධිරය ගලා යමින් තිබුණේය.ඔහු ඇය වෙත නැඹුරු වී ඇයව පරීක්ෂා කළේ වෙව්ලන දෑතිනි.ඒ වන විටත් ඇය මියගොස් සිටියා ය.

තමා දැන් කුමක් කරන්නේදැයි සිරිදාස සිතන්නට විය.මේ පිළිබඳව දැනගත හොත් තමාට නිසැකයෙන්ම සිරගෙට යාමට සිඳුවන බැව් සිරිදාස දැන සිටියේය.එසේ නම් තමා කළ කළ යුත්තේ මෙම සිදුවීම වසන් කිරීම ය.

උදැල්ලක් රැගෙන ආ ඔහු ඉතා අපහසුවෙන් සෙනෙහෙලතාව ඔසවාගෙන අසල තිබු ලඳු කැලෑව දෙසට ගමන් කළේය.

අඩසඳ පායා තිබූ රාත්‍රියේ පැවතියේ මන්දාලෝකයකි. වර්ෂාව ඇදහැලෙමින් පැවතියේ පරිසරයේ පැවති මූසල බව තව තවත් වැඩි කරමිනි.

වනාන්තරයේ මදක් ඔබ්බට ගිය සිරිදාස සෙනෙහෙලතාව මිහි මත තැබුවේය.මදක් හති ලෑ ඔහු උදැල්ල ගෙන වලක් සෑරීමට විය.දෙහෝරාවක් පමණ ගතවීමෙන් පසු මිනිසකු දැමිය හැකි ප්‍රමාණයේ වලක් සෑරීමට ඔහුට හැකි විය.

සෙනෙහෙලතා දෙස අවසන් වරටත් බැල්මක් හෙලූ ඔහු ඇයව ඔසවා වල තුලට ඇද දැමුවේය.ඉක්මනින්ම වල වසා ඒ මත කොළ හා අතු කැබලි දමා කිසිදු හෝඩුවාවක් හසු නොවන පරිදි එය වසා දැමුවේය.

සිය කාර්යය අවසන් කළ සිරිදාස පැළ වෙත පැමිණියේය. තමා අතින් සිදු වුයේ අත්වැරදිමක් වුවද නීතියෙන් තමාට කිසිදු සමාවක් නොදෙන බැව් ඔහු සිතීය.

කෙසේ නමුත් තමාගේ හෘද සාක්ෂියෙන් නම් ඔහුට ගැලවීමක් නොවීය.දින කීපයක් මුළුල්ලේ ම සිරිදාස නින්දෙන් අවදි වී කෑ ගැසූවේය.තමා කළ වරද තමාට වද දෙන බැව් ඔහු දැන සිටියේය.

සෙනෙහෙලතා ගේ අතුරුදන්වීම හේතුවෙන් ගම්මානය කැළඹී තිබුණේය. පොලිසිය ඇයව සෙව්ව ද ඇය ගේ සලකුණක් වත් සොයාගැනීමට නොහැකි විය.

ඇයට සිදුවූ අනතුරේ සලකුණක්වත් සොයා ගැනීමට නොහැකි වූයේ එදිනම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් සාක්ෂි සියල්ල මැකී ගොස් තිබූ නිසාවෙනි.

නීතියෙන් දඬුවම් හිමි නොවුනත් පසු කලෙක සිරිදාසට නියම දඬුවම හිමි වී තිබුණේ ය.සෙනෙහෙලතා ගේ ආත්මය තමාට සිදු වූ වරදේ පළිය ගැනීමට පැමිණ සිටියාය.

රාත්‍රියේ සිරිදාස ගේ ඉදිරියට පැමිණියේ අන් කවරෙකු වත් නොව,ඔහු අතින් ඝාතනයට ලක් වූ සෙනෙහෙලතා ගේ ආත්මයයි.

ඇය සිරිදාස ගේ ගෙල සිර කර ඔහුව ඝාතනය කර තමා වල දමා තිබූ ස්ථානයට ම රැගෙන ගොස් තිබුණාය.

ගම්මුන් සිරිදාසව සෙව්වත් සොයාගැනීමට නොහැකි වූයේ එනිසාවෙනි.

වරදක් කර කිසිදාක සැඟව සිටිය නොහැක.කෙදිනක හෝ කවර ලෙසකින් හෝ වරදට දඬුවම් ලැබෙනු ඒකාන්තය.

සමාප්තයි.

මෙම සිදුවීම හා මෙහි එන නම් ගම් සියල්ල ම මන:කල්පිත වේ.


Episode Name :
බිහිසුණු රැයක් (A Terrible Night) [04 Oct 2023]

Read Episode


Story :
අඳුරු මාවත (The Dark Way)


Date :
2023.10.13

Description : මිතුරෙකුගේ ප්‍රිය සම්භාෂණයකට ගොස් සිය නිවස වෙත නැවත යමින් සිටි සමන් නම් වූ ලිපිකරුවෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 13 Oct 2023

Read Story Now


Story :
මිනිසුන් අතර දෙවියෙක්


Date :
2023.10.10

Description : දරිද්‍රතාවෙන් පෙලෙන කුටුම්බයක ජීවන අරගලයක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 10 Oct 2023

Read Story Now


Story :
මාවතේ ගීතය


Date :
2023.10.08

Description : සමාජයේ ඇස නොගැටෙන වීථි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ ශෝචනීය සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 08 Oct 2023

Read Story Now


Story :
අබිරහස් යුවතිය (The Mysterious Girl)


Date :
2023.10.07

Description : සිල්වෙස්ටර් ජොහැන්නස් නම් තරුණයෙකු සිය නිවසේදි අත් දකින අද්භූත සිදුවීමක් මෙම නිර්මාණය තුලින් පිළිඹිබු වේ.

Date Added : 07 Oct 2023

Read Story Now


Story :
බිහිසුණු රැයක් (A Terrible Night)


Date :
2023.10.04

Description : හල්දෙමුල්ල ගම්මානයේ විසූ සිරිදාස නම් ගොවියෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
වැම්පයර් භීෂණය (The Vampire Terror)


Date :
2023.10.02

Description : ඇඩම් ස්මිත් නම් තරුණයෙකු සිය බාප්පාගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඔහුගේ නිවස වෙත පිටත්ව යයි.එහිදී ඇඩම් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් සමූදායක් මෙම කතාන්දරය තුලින් පිළිඹිබු වේ.

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
මළවුන්ගේ හෝරාව (The Hour Of Dead)


Date :
2023.10.02

Description : සේරුවිල ගම්මානයට එල්ලවන අද්භූත බලවේගයක් හා මෙම කතාන්දරය ගෙතී ඇත.

Date Added : 02 Oct 2023

Read Story Now