අමරණීය...

"ඕලු නෙළුම් නෙරිය රඟාලා...
කිකිණි හඬට වලා නගාලා..."

දිනයේ රාජකාරී කටයුතු නිමා කළ මම, නැවතත් නිවස කරා පැමිණෙමින් සිටියේ දැනට මසකට පමණ පෙර මිලට ගත් මාගේ නවතම මෝටර් රථයෙනි. එහි රේඩියෝ යන්ත්‍රයක් නොවීය. එබැවින් මැදියමේ පාළුව සහ තනිකම දුරු කරගැනීමේ අටියෙන්, සැම විටම කුඩා රේඩියෝ යන්ත්‍රයක් රැගෙන යාමට මම අමතක නොකළෙමි.

"කොච්චර දැම්මත්, මේකෙ මේ සිංඳුවමනෙ යන්නෙ.. මාර අබ්ලික් වැඩක් මේක නම්"

මට නිතරම සිතුණි.

"හැබැයි ඉතින් මේ කට්ට කරුවලේ රෑ 12 ටත් ළඟයි. පාර දෙපැත්තෙම මහා විශාල ගස් කැලෑව. ඔහේ තනියම මේ යන වෙලාවේ, මෙහෙම හරි සින්දුවක් දාගෙන යන්න හැකි එකත් කොච්චර එකක්ද?"

දෙපසක් පැහැදිලිව නොපෙනෙන මහා ඝණ අඳුර මැදින් මා දෑස මානයට හසු වූයේ මෝටර් රථයෙන් නිකුත් වූ විදුලි ආලෝකය නිසා පැහැදිලි වූ පාළු මාවතේ ඉදිරියේ ස්වල්ප දුරක් ම පමණි.ඒ පාළු මාවත දිගේ කල්පනා භරිතව ම ඒකාකාරී වේගයෙන් මෝටර් රථය පදවාගෙන පැමිණෙන මාගේ මනස තුළ එවැනි වූ නානාවිධ සිතුවිලි නැගීම පුරුද්දක් වී තිබුණි.

"රෑ අටෙන් වාගේ පස්සේ කනත්ත පාරෙ ගමන් යනවා නම්, එක්කෝ ඒ අමනුස්සයෙක් ම වෙන්න ඕනේ.. නැත්තම් පට්ට පල් මෝඩයෙක් ම වෙන්න ඕනේ."

මම කුඩා කල දී මගේ මෑණියන් විසින් එළෙස නිරතුරුවම පවසන අයුරු, කනත්ත පාරට ඇතුල්වන සෑම දිනකම පාහේ මගේ මනසට නැගේ. කෙසේ වෙතත්, මට නිවස වෙත පැමිණීමට වෙනත් විකල්ප මාර්ගයක් ද නොවීය. කනත්ත පාරට ඇතුළු වීමෙන් අනතුරුව ඉන් ඉවත්වී ජයතිලක මාවත තුළට ප්‍රවිෂ්ට වීමට කිලෝමීටර් එක හමාරක් පමණ දුරක් යා යුතුය. සැබැවින්ම මෙය කනත්ත පාර ලෙස නම් දැරූවත් එය එක් කනත්තක් පමණක් තිබූ මාවතක් නොව, පාර දෙපස හමුවන මධ්‍යම ප්‍රමාණයේ කනතු දෙකකින් ද නිරන්තරයෙන්ම හමුවෙන සොහොන් පිටි රාශියකින් ද සමන්විත වූ මාවතකි.

ගොක් කොල වලින් තැනූ අලුතින් අවසන් කටයුතු සිදුකරන ලද සොහොන් පිටි එහි වූ සුලබ දසුනකි.දෙපස ඝන අන්ධකාරයෙන් වැසී පැවතුණි. පෙර කී සේ ම මා දෑස ගැටුනේ මෝටර් රථයේ විදුලි ආලෝකය නිසා පැහැදිලි වූ ස්වල්ප දුරක් ම පමණි.

එක් වතාවක මාගේ නිවසට යාබද නිවසක පදිංචි කරුවකු වූ බාරෝන් මුදලාලි ද කනත්ත පාරේ පැමිණෙමින් සිටියදී තිගැස්මකට ලක්ව තිබුණි. ඔහු පැවසූ ආකාරයට නම් නොයා සිටිය නොහැකි මලගෙදරකට පැමිණි ඔහු සිය චැලියේ නැග යළි නිවස කරා පැමිණෙමින් සිට ඇත්තේ කනත්ත පාර හරහා රාත්‍රී 9 ට පමණ ය. කිලෝමීටර භාගයක් පමණ පැමිණි ඔහුගේ චැලියට අත දැමූ වයස අවුරුදු 35 ක පමණ තරුණයෙකි. ඔහු පැළඳ සිට ඇත්තේ ෂර්ට් කලිසම් විය. ඔහු ජයතිලක පාර අද්දරින් දමා ගෙන යාමට හැකි නම් එය මහා උපකාරයක් වනු ඇතැයි පවසමින් තරුණයා ඇවිටිලි කර ඇත්තේ කනත්ත පාරේ ගමන් කිරීම රාත්‍රියේදී ඉතා භයානක බව ද පවසමිනි. එබැවින් බාරෝන් මුදලාලි ගේ සිතෙහි ඇති වූ අනුකම්පාව හේතුවෙන් ඔහු තරුණයාව සිය චැලියට නංවා ගෙන තිබුණි.

ගමනාන්තය තෙක්ම තරුණයා නිශ්ශබ්දව සිටින්නේ එතෙක් දුරක් කනත්ත පාර දිගේ ඇවිද ඒමට සිදු වූ තැති ගැන්මත් විඩාවත් නිසා විය යුතු යැයි බාරෝන් මුදලාලි සිතා ඇත. කණ්නාඩි තුලින් පිටුපස බලන විට ද තරුණයාගේ රුව එතරම් පැහැදිලිව ඔහුට පෙනී නො තිබිණි. කෙසේ වෙතත්, ජයතිලක මාවත අභියස සිය චැලිය නවතා, තරුණයා ට බැස ගැනීමට කාලය ලබාදුන් බාරොන් මුදලාලිගේ චැලියෙන් බැස තිබුණේ සුදු හැඳගත් කාන්තාවකි.

ඉහමොළ රත් වී සිහින් දහදිය දැමූ බාරොන් මුදලාලි ඇති වූ කම්පනයෙන් එතැනම බිම ඇද වැටී ඇත. කතා කරගැනීමට ද නොහැකිව ගල් ගැසී මර බියෙන් බලා සිටිය දී එම කාන්තාව කනත්ත පාර දිගේ අභ්‍යන්තරයට යළිත් ඇවිද ගොස් ඇත.

එවැනි සිදුවීම් රාශ්‍රියක් කනත්ත පාරේ සිදුව ඇත. නමුත්, කනත්ත පාර වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව තිබුණේ "අමරේ" නමින් සැරිසරණ අමනුෂ්‍ය ආත්මයක් හේතුවෙනි. 1980 ගණන් වලදී සිය මයිනර් රථයේ ගමන් කරමින් සිටියදී සිදු වූ මාරක රිය අනතුරක් නිසා හෙතෙම මිය ගිය බවත් එවක් පටන් අද දක්වා නානාවිධ ආකාරයෙන් කනත්ත පාර තුලදී මිනිසුන් හට බලපෑම් සිදු කරන බවත් අප ප්‍රදේශයේ ප්‍රසිද්ධම රහසයි. ඇතැමුන් ඒ ඇතිවන කම්පනයෙන් හෝ බියෙන්ම මියගොස් ඇති බව ද නොරහසකි. කෙසේ වෙතත්, කනත්ත පාර හරහා පැමිණෙනු විනා වෙනත් විකල්පයක් බොහෝ පිරිසට නොතිබුණි.

සුපුරුදු පරිදි වාදනය වන එකම ගීතය ය. කනත්ත පාරට ඇතුළු වන විටම කොහේදෝ සිට පැමිණි ධාරානිපාත වරුසාවකි.

"නියමයි, දැන් තවත් හිමින් යන්න එපැයි. පාර පේන්නෙත් නෑ හරියට.."

ඉබේටම මෙන් මා මුවඟින් පිටවූයේ ඉක්මණින්ම පසු කල යුතුව තිබූ කනත්ත පාර තුල වැඩි කාලයක් ගත කිරීමට ඇද හැලීමට පටන් ගත් වර්ෂාව හේතු වී තිබුණු හෙයිනි.

මම කල්පනාකාරීව රථය ධාවනය කළෙමි. කිලෝමීටර භාගයක් පමණ පැමිණි පසු ඉදිරියෙන් මාර්ගයේ වම් පස අයනෙන් මතුවූ තරමක් අපැහැදිලි රුවක් විය. එය අඳුරේම ඉදිරියට ඇදෙමින් තිබුණි. තරමක් විමසිල්ලෙන් දෑස් යෙමූ මට, ඒ වර්ෂාව මධ්‍යයේ ඝණ අඳුරේ පයින්ම ඉදිරියට ඇදෙමින් සිටියේ තරුණයෙකු බව අවබෝධ විය. ස්වල්ප මොහොතකින්ම, ඔහු ආපසු හැරී බලමින් නැවතුණේ මෝටර් රථයේ විදුලි ආලෝකයත් නාදයත් නිසා විය යුතුය.

වයස අවුරුදු 35 ක් පමණ වූ ඔහු, හැඳ සිටියේ සුදු පැහැති කමිසයක් සහ කලු පැහැති කලිසමකි. මහා වර්ෂාව හේතුවෙන් ඔහුගේ මුළු ශරීරයම අධික ලෙස තෙමී තිබුණි. රථය නවත්වන ලෙස කරන ආයාචනා බැල්මෙන් යුතුවම ඔහු මෝටර් රථය වෙත එක් අතක් දිගු කර සිටියේ මහත් වූ කරදරයකින් මිදුණු ස්වරූපයකිනි.

ඔහුගේ වයසත් හැඳ සිටි ඇදුම් ආයිත්තම් නිසාත් කනත්ත පාරේ කිලෝ මීටර භාගයක් පමණ ඇතුලත දී මුණ ගැසුණු නිසාත් බාරෝන් මුදලාලි පැවසූ සිදුවීම මා සිතට නැගුණි. කෙසේ වෙතත් මට ඔහුගේ මුහුණේ වූ ඉරියව් සහ මහ වරුසාව හේතුවෙන් රථය නොනවත්වා සිටීමට සිත නොදුනි.

"කොහේද යන්නේ?" රථය නවතා වීදුරුවක් පහත හෙලූ මම ඔහුගෙන් විමසුවෙමි.

"අනේ මල්ලි, ගෙදර යන්නෙ. රෑ වුනා එන්න හොඳටම අද. මේ පාරෙ යන්නත් බයයි. ඒත් වෙන කරන්නම දෙයක් ඇති කමට මෙහෙම ආව මල්ලි."

"ඔව්, මේ පාර නම් හොඳ මදි තමා. රෑට නම් කොහොමත් හොඳ නෑ පණ තියෙන උන්ට නම්. කොහෙට ද යන්න ඕන?" මම යළිත් විමසුවෙමි.

"අනේ, මාව ජයතිලක පාර ගාවින් දාං ගියානම් ඇති මල්ලි. ඉතුරු ටික මට යන්න පුළුවන්."

ඔහුගේ පිළිතුරෙන් මා සිත කුතුහලයත් ත්‍රාසයත් මනුශ්‍යත්වයත් අතර දෝලනය විය. ඔහු යළිත් සිය හඬ අවදි කලේ ඒ මොහොතේය.

"මල්ලි, මේ පාර රෑට හරි බයයි නේ. වැස්සත් එක්ක, කලුවරයි පාලුයි.. පුළුවන් ද මට උදව් කරන්න. ලොකු උදව්වක්.."

ඔහුගේ ඇවටිලි කිරීම හේතුවෙන් ම තව දුරටත් ඔහුට වැස්සේ තෙමෙන්නට ඉඩ නොහැරූ මම, ඔහුව රථය තුලට නංවා ගත්තෙමි.

"හරි, එන්න. නගින්න මම යන්නෙත් ජයතිලක පාර ගාවට..."

"අනේ ගොඩක් ස්තූතියි මල්ලි. කවුරුත් උදව් නොකරන පාරක, වෙලාවක ඔයා මේ මට පිහිට වුනේ." සිය තෙත බරිත වූ හිස, එක් අතකින් තෙත ගසමින්ම ඔහු මා හට ස්තූති කළේය.

"මල්ලිල කොහෙද?"

"ආ.. මම ජයතිලක පාර ගාවට යන්නෙ."

"මම මල්ලිව මීට කලින් දැකල නෑනෙ. අලුතෙන් ද ආවෙ මේ පැත්තට? මමත් ජයතිලක පාර බෙදෙන හරියෙමයි.."

"නෑ අයියෙ, දැං සෑහෙන්න කල්. මම වැඩ කරන්නෙ පිට. හැමදාම එන්න රෑ වෙනවා. ඒකයි මම හිතන්නෙ අයිය මාව දැකල නැතුව ඇත්තෙ.."

"ආ.. ඒක තමයි එහෙනම්.." සිනහවක් මුහුණේ රඳවා ගනිමින් ඔහු නිහඬ විය. එතැන් පටන් මද වේලාවක් යන තුරුම තීව්‍ර වූ ඔහුගේ නිශ්ශබ්දතාවය මට බාරෝන් මුදලාලිගේ සිදුවීම යළිත් මතකයට රැගෙන එන්නට විය. තවත් කිලෝ මීටර භාගයක් පමණ යා යුතුව තිබුණත් දැඩි වර්ෂාව නිසාම මම රථය මද වේගයෙන් කල්පනාකාරීව ධවනය කළෙමි.

"හයියෙන් යන්නත් අමාරුයි නේද? වැස්සනෙ.." ඔහු සිය හඬ අවදි කලේය.

"ඔව්, හොඳ වෙලාවට මම මේ වාහනේ ගත්තේ ගිය මාසෙ." මම පිළිතුරු දුන්නෙමි.

"ආ.. මල්ලි පරණ කාර් වලට ආසයි වගේ."

ඔහුගේ පිළිතුර තරමක් මගේ සිත තුල නොරිස්සුම් කමක් ඇති කලේ මාගේ රථය පැරණි රථයක් නොවූ හෙයිනි.

"පරණ කාර්? මේක කොහෙද පරණ? මේ අලුත්ම එකක්. අයිය වාහන ගැන නම් වැඩිය දන්නෙ නෑ වගේ.."

ඔහුගේ මුහුණ තරමක් කුතුහලයට පත් වූ හැඩයකි.

"අ...ම්...... අලුත්? මේ පරණ කාර් එකක්නෙ මල්ලි. මේව ආවෙ ගොඩක් කලින් නෙ.."

ඔහු මගේ නොරිස්සුම කෝපයක් බවට පත් කරමින් සිටියේය.

"මේ යකා හොල්මනක් වෙන්න බෑ කොහොමත්. මේ යකා පිස්සෙක්.." මට සිතුණි.

කෙසේ වෙතත් කල්පනාවෙන් ගමන් කළ යුතු යැයි මම සිතා ගත්තෙමි. ගිගිරුම් දෙමින් ඇද හැළුණු වර්ෂාවත් මා‍ර්ගයේ අපැහැදිලි බව සහ අඳුරත් හේතුවෙන් රථය මද වේගයෙන් යුතුවම ධාවනය කලේ තවත් ඇත්තෙ ස්වල්ප දුරක් යන සිතුවිල්ල සිත ඇතිවමය.

"ඕලු නෙලුම් නෙරිය රඟාලා..
කිකිණි හඬට වලා නගාලා.."

පසුපස අසුනේ වූ මාගේ රේඩියෝව දෙස හැරුණු ඔහු යළිත් මා දෙස හැරුණේ යමක් විමසීමටයි.

"මල්ලි, මේ රේඩියෝ එකේ මේ සින්දුව විතරමනෙ යන්නේ. අර ඔයා වාහනේ නවත්තපු වෙලේ ඉඳන්ම මේක ආයි ආයි යනවා නේද?" ඔහු සිටියේ කුතුහලයෙනි.

"ආ.. ඒ ඕකෙ හැටි අයියේ. නැවතුනු තැනම නැවතිලා ඒක.."

"ඒ කිවුවෙ මල්ලි?" ඔහුගේ කුතුහලය තීව්‍ර වූ හැඩයක් විය.

"ඒ කිවුවෙ මල්ලි? නැවතුණු තැනම නැවතිලා කියන්නෙ?" ඔහු යළිත් විමසයි. මම කිසිත් පිළිතුරක් නොදුන්නෙමි.

"අද, 1981 ජූලි 30 වනදා.. වේලාව මධ්‍යම රාත්‍රී 12." ගුවන් විදුලියේ විකාශය වූ නාදයෙන් ඔහුගේ කුතුහලය ත්‍රාසයට පරිවර්තනය වූ ස්වරූපයක් පෙණුනි.

"අද? 1981? ම... ම... මල්ලිගෙ නම මොකක්ද කිවුවෙ?" ඔහුගේ දෑස් විශාලව ගොස් පැවතුණි.

මම නිහඬවම රථය ධාවනය කලේ ජයතිලක පාර අභියසට අප පැමිණ සිටි හෙයිනි.

" ඔයගෙ න... නම මො.. මොකක්ද?" ඔහු යළිත් විමසයි..

"මමද? මම අමරේ...."

මගේ නම ඇසූ පමණින්ම භීතියෙන් ගල්ගැහී මුහුණ පුරා දහදිය වැගිරෙන්නට වූ ඔහු ‍රථයේ දොර විවෘත කරගැනීමට වෙර දැරුවේ මර භියෙන් විලාප තබමිනි. ස්වල්ප මොහොතකින්ම අසුන මතම ඇද වැටුණු
ඔහුගේ ශරීරය මගේ මයිනර් රථයෙන් පිටතට දමා යලිත් කනත්ත පාර අභ්‍යන්තරය දෙසට ධාවනය කළෙමි.

කනත්ත පාරේදී හමුවෙමු..

-නිමි-


Episode Name :
Short Story [09 Oct 2023]

Read Episode


Story :
අමරණීය


Date :
2023 October

Description : මේ ඔහුගේ කථාවයි..

Date Added : 09 Oct 2023

Read Story Now